අවසන් ගෞරවය – සයන්තන් / இறுதி வணக்கம்

පරිවර්තනය – ජී. ජී. සරත් ආනන්ද

මගේ නෙත ගැටුණු මොහොතේ වලවන් තම පාදවලට පහළින් සිටි කොළ පැහැති, තෙත් ගතියෙන් යුත්, පිට මත කළු පැහැ තිත් සහිත ඒ ගෙම්බාගේ සිරුර මතට අතෙහි දරා සිටි කැඩුණු කොන්ක්‍රීට් ගල් කැබැල්ල ‘දඩස්’ හඬින් අතහැරියේය. ‘චිරිස්’ හඬක් මතුවිය. එක්තරා අප්‍රසන්න හැඟීමකින් මිරිකී සිටි මම වහා දෑස් වසා දත්මිටි කෑවෙමි. වලවන්ට තවම අවුරුදු හයක්වත් සම්පූර්ණ වූයේ නැත. ඔහු මට නෑකමින් බෑණාය. අක්කාගේ පුතාය. අල්ලාගෙන සිටින අත ලිහිල් කළ සැනින් පහළට රූරා හැලෙන්නට සූදානමින් තිබෙන ලිහිල් කොට කලිසමක් පමණක් ඔහු ඇඳ සිටියේය. රවුම් මුහුණෙහි නොසැලකිලිමත් ලොකු ඇස් දෙකකි. උදෑසන සිට වත්ත පුරාම ඇවිදියි. මම ද ඔහු පසුපසින් ගොස් නිරීක්‍ෂණය කරන්නට වීමි.

වලවන් ජීවමානව දැක දවසක් ම ගතවිය. ඊයේ උදෑසන මම ගමට පැමිණියේ අවුරුදු 15කට පසුවයි. කොළඹ ගුවන් තොටුපළේ සිට දිගටම පැමිණියේ අක්කාගේ ගෙදරටය. ජීවිත ගමනේ මතකයන් සිතට ඇතුල් වී ආස්වාදයක් ගෙනදීම සාමාන්‍ය තත්ත්වයකි. ඇතැම් මතකයන් වරෙක පිනිබිඳු සේ සිසිලක් ගෙනදෙයි. තවත් බොහෝ අවස්ථාවල ගින්දර සේ දවාලයි. එදා ශ්‍රී ලංකාව අතැර විදෙස් ගතවූ කාලයේ මම සිටියේ අම්මා, ලොකු අම්මා, ලොකු තාත්තා ඇතුළු සියලු දෙනා සමග මුලතිව්වලය. අක්කා ද සිටියේ එහිය. අපට ජීවත්වීමට සිදුවූයේ දිවා කාලය කා දමන ගන කැළෑවක, ග්‍රීස්මය සඟවාලන කඳවුරක් තුළය.

“මෙයා ඔරුවකින්වත් ඉන්දියාවට යවන්න ඕන. තවදුරටත් මේ බිමේ තියාගන්න තරම් මගේ හිතේ හය්යක් නෑ.”

අම්මා එසේ පවසමින් රාමේස්වරන්වල සිට සැතපුම් 45ක් දුරින් පිහිටි මන්නාරමේ මුහුදුබඩ ගමකට මාවත් ඇදගෙන පිටත් වෙද්දී ලොකු අම්මාත්, ලොකු තාත්තාත් මා බදාගෙන කඳුළු සැළුෑහ. ලොකු තාත්තාගේ ඇඟිල්ලේ ස්පර්ශය මා කෙරෙන් වෙන්ව ගිය මොහොතේ කිසිවෙකුත් නැති පාළු වනාන්තර බිමකට හුදෙකලාවේ ඇතුල්වූවාක් වැනි හැඟීමක් මසිතේ ජනිත විය. මගේ ළමා කාලයේ මතකයන් රැසක් ඒකරාශීව තිබුණේ ඔවුන් වටාය. ලොකු තාත්තාට පිරිමි දරුවෝ නොසිටියහ. අවුරුදු දිනවලදී ඔහු මාව සිය නිවසට කැඳවාගෙන යන්නේය. යේසු බිලිඳාගේ උපන් දිනය යෙදුණු සෑම මැදියම් රැයකදී ම මම ඔවුන්ගේ නිවසේ හිඳගෙන ම ගීතිකා ගැයුවෙමි. ලොකු තාත්තා, ලොකු අම්මා, අක්කා සහ මම පේළියට දණ නමාගෙන මිහිරි හඬින් මෙසේ ගයන්නෙමු.

“උඳුවප් රෑ සීතල අඳුරේ

දේවදූතයකු සේ අවුදින්

ගවයින් එක්වන ගව මඩුවේ

ජනිතවුණා මිණි කැටයක් මෙලොවට

මානව කරුණාවේ….”

මට බයිසිකල් පැදීමට පුරුදු කළේ ලොකු තාත්තාය. ඔහු පුස්තකාලයෙන් පොත් ද රැගෙන විත් මට ඒවා විස්තර කරමින් හඳුන්වා දුන්නේය.

 ‘මාත් එක්ක ඔයාලත් ඉන්දියාවට යමු’ යි ලොකු තාත්තගෙන් හා ලොකු අම්මාගෙන් ඉල්ලා සිටීමට බැරි කාලයක් උදාවිය. ඒ වන විට අක්කා සංවිධානයට බැඳී සිටියාය. දරුවන් අතැර අඟලක්වත් ඉවත්ව යාමට ඔවුන් අකමැතිය. ‘ඈ ආයෙත් එනව. යේසුස් වහන්සෙ මගේ දුව එක්කගෙන එනව’ යි ලොකු අම්මා දිනපතාම යාඥා කරමින් අයැද සිටින්නීය. කඳුළු ගලනවිට ඈ යාඥා කරන්නේ දණ ගසාගෙනය.

 “මෝක්‍ෂයේ පියාණෙනි, ඔබතුමන්ගේ ගව මඩුවේ සිට මග වැරදී ගිය ඔබේ දරුවන් යළිත් මා ළඟට කැඳවා ගෙනැවිත් දෙන ලෙස  ඔබතුමන්ගෙන් අයදිමි….”

අක්කා සංවිධානයට බැඳීම එක්තරා විශ්මිත සිදුවීමකි. ඇය මට වඩා අවුරුදු දෙකකින් වැඩිමල්ය. විසි වසරකට පෙර සෙනසුරාදා දිනයක උදෑසන දේව මෙහෙයට බැතිමතුන් දේවස්ථානයේ රැස්ව සිටියදී වහලට වැටුණු ගුවන් බෝම්බ ප්‍රහාරයේ අත්දැකීම ලැබෙන තුරුම අඟුරු පැහැති අඳුරට හැර වෙන කිසිවකටවත් ඈ බියවූයේ නැත. එදා සිදුවීමේදී සම්පූර්ණයෙන් ම රූරා වැටුණු බිත්තියක සුන්බුන් අතරේ ඈ තැලී පොඩි වී සිටියාය. විසිර ගිය කොන්ක්‍රීට් ගල් ඇනීමෙන් ඇති වූ සීරුම් තුවාලවල වේදනාව ඇයට ඉසිලිය හැකිවිය. එහෙත් ඇගේ දෑස් ඉදිරිපිට ලේ විහිදුවමින් අවසන් හුස්ම හෙළුෑ ජීවිතත්, ශේෂ වූ දේවස්ථාන බිත්ති අතරේ රැව්දුන් මර ළතෝනිත් ඇය උමතුභාවයකට පත්කළාක් වැනිය. විසිර ගිය මිනිස් මස් වැදලි ගොඩවල්වලට දූවිලි මිශ්‍රවී බැතිමතුන්ගේ සිරුරු අතරින් දෙපා එරි එරී ඇවිද එනවිට වලිප්පුව සැදී ඇති සේ ඇගේ සියලඟම වෙව්ලන්නට විය. ඈ සිහිසුන් වූවාය.

එදා පටන් යන්තමින් වෙඩි හඬක් ඇසුණත් ඈ කලබල වන්නීය. ඈතින් ඇසෙන වෙඩි හඬ සාමාන්‍යයෙන් අපි ගණනකට ගන්නේ නැත. එහෙත් ඇය එසේ නොවේ. එවන් අවස්ථාවල දියෙහි ගිලී ගොඩ ආවාක් මෙන් ඇගේ මුහුණ සුදුමැලි වී දෑස්වලින් බිය වෑස්සෙන්නට පටන් ගනියි. කිසිවකු සමගවත් කතා නොකරයි. තනිවී සිටියි. ඇගේ කාමරයේ තේක්ක ලීයෙන් තැනු බරැති මේසයක් තිබුණි. එය පැරණි ගෘහ භාණ්ඩයකි. සිමෙන්ති පොළව මත එය පසෙකට අදිනවිට ‘බ්‍රා…ස්’ යි හඬක් මතුවෙයි. එය යම් ප්‍රමාණයකට කෆීර් යානයක් අහස දෙබෑ කරගෙන එන හඬකට සමානය. අක්කා දිවා කාලයේ නිදාගන්නා වෙලාව බලා මම විහිළුවක් කිරීමට සිතා මේසය ඇද ඒ හඬ නන්වමි. ඈ කලබලයෙන් නැගිට ‘දෙය්යනේ….’ යි හඬ නගමින් බියෙන් දුවන්නට පටන් ගනියි.

මට හොඳින් මතක තිබෙන සිද්ධියක් ඇත. අප අවතැන්වී මුලතිව්වලට පැමිණ පැල්පත් අටවාගෙන පදිංචිවී මාස දෙකක් ගෙවී ගියේය. ෂෙල් ප්‍රහාර හෝ වෙඩි හඬ හෝ දැන් නෑසෙයි. එහෙත් ‘එල්’ හැඩයේ බංකරයක් මිදුලේ ආසන්න දුරින් ඉදිකරගෙන සිටියෙමු. අක්කාගේ හැසිරීම මඳක් යහපත් තත්ත්වයක පැවතුණි. ඒ වනවිට උසස් පෙළ විභාගය සඳහා ඈ පාසැලකට ඇතුල්ව සිටියාය. එය මඳක් දුරින් පිහිටා තිබුණි. ලොකු තාත්තා රතු පැහැති ‘ලුමාලා’ බයිසිකලයක් ඇයට මිලදී ගෙනැවිත් දුන්නේය. දිනක් උදෑසන ඈ නිවසේ සිට පිටත්ව ගියාය. මිනිත්තු පහක් පමණ ගතවිය. කෆීර් යානා දෙකක් සමාන්තරව ඇදී යන ඊතල මෙන් අහසට එක්විය. ප්‍රාණය සූරාගෙන යාමට එන භයානක හඬකි.

“බංකරේට දුවමු. අය්යෝ…. දුව තාම පාරෙ තනියම….”

ලොකු අම්මා වරින්වර බංකරයෙන් හිස ඔසවා එබෙමින් ළතවෙයි. කෆීර් හඬ ඝෘජුවම කන්වලට ඇතුල්ව මොළයේ මෘදු පටල සූරාගෙන යන්නාක් සේ දැනෙයි. ඒ ගොරහැඩි හඬ තවත් උත්සන්න වෙයි. ක්‍ෂණයෙන් වීදුරු මාලිගාවක් කුඩුපට්ටම්ව කඩා වැටුණාක් වැනි ‘සරාං සරාං’ හඬක් ඇසුණි. ‘බෝම්බ ගැහුව…. බෝම්බ ගැහුවා….’ යි කියමින් මම ද ගෙම්බෙකු මෙන් බංකරයේ සැඟවී සිට කෑගැසුවෙමි. සුළඟ ‘හෝ…. හෝ….’ හඬින් හමා ගියේය. ටිකින් ටික පිපිරුම් හඬ අඩුවන්නාක් මෙන් දැනුණි. කෆීර් හඬ ක්‍රමයෙන් අඩුවෙද්දී මමත්, ලොකු අම්මාත් වහ වහා පාරට ආවෙමු. අක්කා හති දමමින් දිව ආවාය.

“කොහේට වැටුණද දන්නෑ. සංවිධානෙ වාහනේක තුවාල වෙච්ච මිනිස්සු පටවගෙන මේ පාරෙන් තමයි ගියේ. ඇස් දෙකෙන් බලන්නවත් බෑ. වාහනේ පිරෙන්න ලේයි, මර ළතෝනි හඬයි….”

ඈ හති දමමින් පවසා සිටියාය.

“අක්කේ, කෝ බයිසිකලේ?”

මම ප්‍රශ්න කළෙමි. ඈ ගැහෙන හඬින් ‘රතුපාට දැක්කමලු බෝම්බ ගහන්නෙ; ඒ නිසා සයිකලේ පාර අයිනට වීසිකරල දුවගෙන ආවා’ යි පිළිතුරු දුන්නාය. මා සිනාව මැඩගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ‘හොඳ වෙලාවට සුදු ඇඳුමින් ගියේ’ යි කීවෙමි. ඈ මුහුණ එල්ලාගෙන දිව ගොස් බිත්තියට පිට දී අඬන්නට පටන් ගත්තාය.

අක්කා සංවිධානයට එක්වූ බව කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි විය. ගෙදරින් වෙන්වන මොහොත දක්වාම ඇය සිටියේ ඒ බියවන ස්වභාවයෙනි. කුමන අවස්ථාවක එවන් තීරණයකට එළඹුණේ ද යන්න මහත් ප්‍රහේළිකාවක් විය. සංවිධානයට බැඳුණේ ඇයිදැයි ඇගේ එකදු ලිපියක හෝ ලියා නොතිබුණි. පාසැලේ සිට සවස තුන වනවිට සැමදාම ගෙදර එන ඇය එදා නොපැමිණීම නිසා ලොකු අම්මාගේ සිත කලබල විය. ලොකු තාත්තා ඒ ගැන සොයා බැලීමට ගියේය. අඳුර වැටෙන විට ඔහු සයිකලය ගසකට හේත්තු කර මළකඳක් මෙන් පැමිණ බිම ඇණතියා ගත්තේය. කුඩා දරුවකු මෙන් ඔහු හඬන්නට පටන් ගත් විට සිදුව ඇත්තේ කුමක්දැයි මට අවබෝධ විය. එදා අක්කාගේ පාසැලේ 13 දෙනෙක් සංවිධානයට එක්වූහ. ඊ ළඟ දිනය පුරාම මමත්, ලොකු අම්මාත්  අවට පිහිටි කඳවුරුවලට ගොස් විමසා බැලුවෙමු. අවසානයේ එක් ස්ථානයක දී ඇගේ රතු පැහැති ලුමාලා බයිසිකලය දුන්නේය. ලොකු අම්මා ඒ කඳවුරේ දොරටුව අතැර පිට නොවෙමියි කියමින් බිම දෙපා දිගහැර හිඳ වැළපෙන්නට වූවාය. ‘අනේ රත්තරන් මහත්තුරුනේ, එක වතාවක් හරි මගෙ කෙල්ල ඇස් දෙකට දැකගන්න ඉඩ දෙන්න’ යි බිම පෙරළෙමින් වැළපුනාය. ඒ මොහොතේ මම සිතින් අක්කාට නොසෑහෙන්න දොස් තැබුවෙමි.

“ඒකි හැමදේටම බය දරුවෙක්. ගෙදර හැර වෙන කොහේවත් නතරවෙලා ඉඳල නෑ. කොහොමහරි එනව.”

වසර තුනක් පුරාවට ලොකු අම්මා එය කියවමින් සිටියාය. ඇගේ ඉල්ලීම්, බැගෑපත්වීම් සියල්ලම අක්කාගේ පැමිණීම උදෙසාය. මේ අතරේ එක්තරා දිනෙක අක්කා ගෙදර පැමිණියාය.

දොරකඩ දෙසින් ඇසුණු මෝටර් සයිකලයේ හඬ ක්‍රමයෙන් අඩු වී නැති වී ගියේය. අක්කා එහි හිඳගෙන ම පාදවලින් පොළවට ඇන ඉදිරියට තල්ලුවෙමින් වත්ත ඇතුළට පැමිණියාය. පසුපසින් ඇගේ මිතුරියක් හිඳගෙන සිටියාය. දෙදෙනාම සංවිධානයේ නිල ඇඳුමින් සැරසී සිටියහ. අක්කාගේ කොණ්ඩය උරහිසට උඩින් කපා තිබුණි. ඒ තුළින් ඇයට නැවුම් පෙනුමක් ගෙන දුනි. ගෙලෙහි එල්ලෙන කළු පැහැති නූල නිල ඇඳුමේ වම්පස සාක්කුවට ඇතුල් කර තිබුණි.

ලොකු අම්මා ‘මගේ දරුව ඇවිල්ලා’ යි කලබලකාරීව හඬ නගා ගොස් අක්කාව වැළඳ ගත්තාය. මව් තුරුලේ ශරීරය උණුසුම් වෙද්දී අතේ බැඳ තිබූ කළු පැහැති ඔරලෝසුවෙන් අක්කා වෙලාව බැලුවාය.

“සංවිධානෙ වැඩකටයි මේ පැත්තෙ ආවෙ. ඒ ගමන් මෙහෙත් ඇවිත් යන්න ආව.”

“තව ටිකකින් තාත්ත ඒවි. රෑ ඉඳල එළිවුණාම යන්න පුළුවන් නේ?”

ලොකු අම්මා ආයාචනාත්මක ස්වරයෙන් කියා සිටියාය. කිසිදු පිළිතුරක් නොදී සිනාසුණු අක්කා තනියම ම කුස්සියට ගොස් දෙහි යුෂ මිරිකා දියකර ප්‍රමාණවත් තරමට වතුර හා සීනි ද දමා ගෙනැවිත් මිතුරියට පිළිගැන්වූවාය. ඇය ද දෙහියුෂ උගුරක් බී මා දෙස බලා ‘මොනවද කරන්නෙ?’ යි ප්‍රශ්න කළාය. ‘ඉන්නව’ යි තනි වචනයෙන් පිළිතුරු දුන් මම නිහඬ වීමි.

ලොකු අම්මා අක්කාගේ නළල ආදරයෙන් පිරිමැද්දාය. ‘උඹට බය නැද්ද දුවේ’ යි ප්‍රශ්න කළාය. එවිට පසෙක සිටි අක්කාගේ මිතුරිය ඇඟ ගස්සමින් සිනහවක් නැගුවාය. ඇගේ උගුරේ තිබු දෙහි යුෂ නාසයෙහි ද සිරවිය. ලොකු අම්මා ඇගේ පිටට සෙමින් තට්ටු කළ අතර ඈ සුසුමක් පිට කළාය.

“ඒ ගැන මොනවට අහනවද අම්මේ….? කළුවර වැටුනහම හතර දෙනෙක් ඕන ඔයාගෙ දුව ළඟ තනියට ඉන්න.”

“ඒය් කට වහගෙන හිටපන් !”

අක්කා මිතුරියට තරවටු කළාය. ‘ආයෙ දවසක එන්නම් අම්මේ’ යි පවසමින් මෝටර් සයිකලයට නැගුණු ඈ එය ස්ටාර්ට් කළාය. හොණ්ඩා සීඩී 90 වර්ගයේ යතුරු පැදියක් වූ එය රතු පැහැතිය. දෙවතාවක් එහි ඇස්ලේටරය කරකැවූ ඈ මිතුරිය ද හිඳුවාගෙන සුළඟේ පාවී නොපෙනී ගියාය. මොහොතක්වත් ප්‍රමාද නොවුණු ලොකු අම්මා ගෙතුළට දිව ගොස් දණ ගසා ගත්තාය.

“සර්ව බලධාරී දෙවියන් වහන්ස, මගේ දරුවව ඔබ වහන්සේට භාරකරනව. ඔබ වහන්සේගෙ යටත් සේවිකාවක වශයෙන් භාරගෙන ළඟින්ම ඉඳන් ඇයට ආරක්‍ෂාව ලබා දෙන්න කියල ඔබ වහන්සේගෙන් අයැද සිටිනව….”

මම විශ්මයට පත්වීමි. පෙර දිනවල කුමක් හෝ විහිළුවක් කර අක්කාගේ කේන්තිය අවුස්සන මම අද අක්කා යළි පිටව යනතුරුත් පැවසීමට වදන් නොමැතිව මුල්ලකට වී නිහඬව සිටියා නොවේද? ගම ගැනත්, ගෙදර ගැනත් නිතර සමීපව කතාබහ කරමින් සිටි ඈ හදිසියේ අතුරුදහන් වූවාක් වැනිය. කුමක් හෝ වැරදි හැඟීමක් නිසා මා එසේ නිහඬ වූයෙම්දැයි කල්පනා කළෙමි. එදායින් පසු මට අක්කාව ඊයේ වනතුරු යළි දැකගත නොහැකි විය.

මම ඉන්දියාවේ හොඳ ඒජන්සිකාරයකු සම්බන්ධ කර ගත්තෙමි. ‘විදේශ ගතවී රැකියාවක් ලබාගත් පසු මුදල් ගෙවමි’ යන කොන්දේසිය මත දින හතරක් තුළ ලන්ඩනයට ගියෙමි. විදේශ ගතවීම සඳහා මාස 10 ටත් වඩා කල් බලා සිටීමට  සිදුවූ කාලයකි ඒ. අනාථභාවය, නඩු, වීසා සම්බන්ධ ගැටලු, රැකියා විරහිතභාවය, කාලය නාස්තිවීම ආදී සියලු තත්ත්වයන්ගෙන් නිදහස් වීමට හැකිවීම භාග්‍යයකි. දින 12කට පසු සර්පයකු දෂ්ට කිරීමෙන් ලොකු තාත්තා මියගිය පුවත ලැබෙන විට මා සිටියේ දෙවන රැකියාවේය. එය පෙට්රල් ෂෙඩ් එකක රැකියාවකි. රාත්‍රි වැඩට පිටත්ව යමින් සිටියෙමි. ලොකු තාත්තා යළි කවදා හෝ සජීවීව දැකගැනීමට ලැබේවායි  ප්‍රාර්ථනාවක් සිත පතුළේ තිබුණි.

අක්කා කසාද බඳින බව දන්වා ලිපියක් ලැබුණේය. යුද බිමේ දී ඇගේ පාදයක් ආබාධිත වූ බවත්, පසුව වෛද්‍ය අංශයේ සේවිකාවක ලෙස සේවය කළ බවත් ඒ දිනවල දී එකට වැඩ කළ සංවිධානයේ අයකු සමග ප්‍රේමයෙන් බැඳුණු බවත් එහි සඳහන්ව තිබුණි. එක් රාමුවක් තුළ කොටු කර තැබිය නොහැකි ලෙස ඇගේ ජීවිතය හැරෙමින් ගලා යන්නේ යැයි සිතා මම විශ්මයට පත්වීමි. ඇය පිළිබඳව දැන ගැනීමට ලැබෙන සෑම අවස්ථාවකදීම ක්‍ෂණිකව රූප රාමු මාරුවන්නාක් සේ එක් එක් චරිතයන්ට ඈ ජීවය දුන්නාය. අවසානයේ වලවන්ගේ ආදරණීය අම්මා බවට පත් වූවාය. ඒ වන විට යුද්ධය විසින් ජනතාව මුහුදු වෙරළ දෙසට පන්නා දමන ලදී. එළු රංචුවක් ඇදී යන්නාක් මෙන් ජනතාව ගමන් කරන්නට වූහ.

අක්කා ගැනවත්, ලොකු අම්මා ගැනවත් ඉන් පසුව මා හට කිසිදු තොරතුරක් නොලැබුණි. ලැබෙන සෑම පුවතක්ම ලේවලින් නැහැවී තිබුණි. අන්තර්ජාලය ඔස්සේ ලෙයින් නැහැවුණු ළදරු ශරීර දකින සෑම විටකදී ම තවමත් මුහුණ නොදුටු වලවන් මසිතට නැගෙයි. ඔහු ගැන සිතුවමක් සිතින් මා තුළ ඇඳගත්තෙමි. ලොකු තාත්තාගේ මෙන් ගණ වූ ඇහිබැම, තියුණු නැහැය, මඳක් පටු, සැමවිට ම සිනාමුසු මුව මඬල….

දරුණු රාක්‍ෂයෙක් තම විශාල දිවෙන් භූමිය සූරා රෝල්කර ගෙන කා විනාශ කර දැම්මාක් මෙන් එක්තරා දිනයක දී සියල්ල ම සුන්නද්දූලි විය. දුමින් වැසී ගිය භූමියේ වලවන්ව ඉනේ රුවාගෙන අක්කා පිටව ගියාය. මස්සිනා හමුදාවට භාරවිය. එදා ලොකු අම්මාගේ අට වන සැමරුම් දිනයයි.

මා දුටු සැනින් මෘදු හඬින් ඉකි ගසන්නට වූ අක්කා අත්ලෙන් කඳුළු පිසලෑවාය. කඳුළු වළක්වාලීමට නොහැකිව මුහුණ වසාගෙන හඬන්නට පටන් ගත්තාය. එවිට ඇය කුඩා ශබ්දයකට පවා බිය වු අතීතයේ සිටි අක්කා ලෙස ම පෙනුණි. මම ඇය නිල ඇඳුමෙන් සිටිනු ද දැක ඇත්තෙමි. ඒ අතීතය සිහිලැල් බවින් උතුරා ගිය අලුයම් කාලයක දුටු සිහිනයක් වැනිය. මම හිස නමාගෙන සිටියෙමි. වලවන් අක්කාගේ ඇඳුමට මුවාවෙමින් මා දෙස බලා හිස සඟවා ගත්තේය. මම ඔහුව වඩාගෙන හාදුවක් දුන්නෙමි. ඔහු එයට අකමැති බව පාමින් කම්මුල් තදින් පිසලෑවේය.

“උඹේ මස්සිනාව දැකලම නෑ නේද මල්ලි?”

අක්කා රාත්‍රියේ ප්‍රශ්න කළාය.

“එයා ෂෙල් පැක්ටරියක භාරකරු හැටියටයි වැඩකළේ. ගම ත්‍රිකුණාමළේ සාම්පූර්. වතාවක් වැරදීමකින් ඒ පැක්ටරියෙ පිපිරීමක් වුණා. එයාගෙ මූණෙයි පපුවෙයි දරුණු තුවාල ඇතිවුණා. ඒවට ප්‍රතිකාර ගන්න ආපුවහම තමයි මාව අඳුරගත්තෙ.”

ඇය මස්සිනාගේ ඡායාරූපයක් පෙන්නාවි යැයි මම බලා සිටියෙමි. වලවන් කුඩා කාලයේ ගන්නා ලද ඡායාරූප කිහිපයක්ම ඈ පෙන්වූ අතර ඒවායේ මස්සිනා සිටියේ නැත.

“එයාගෙ එක ෆොටෝඑකක්වත් මා ළඟ නෑ මල්ලී. තිබුණ සේරම යුනිෆෝම් ඇඳල ගත් ඒව. හමුදා පාලන කලාපෙට යනකොට ඒව ඉරල වීසිකරල දාල ගියේ.”

ඈ පැවසුවාය. මම ගැඹුරින් සුසුමක් පිටකළෙමි. හ්ම්…. කවද අහපු කතාවල්ද මේ….?

“උඹේ මස්සිනා අන්තිම කාලෙ අපිත් එක්ක හිටියෙ නෑ. ෂෙල් පැක්ටරි වැහිල ගියාට පස්සෙ සංවිධානෙ අයගෙ මළකඳන් භූමිදානය කිරීමේ කටයුතු භාරව හිටිය. ඒවත් එක තැනක නෙමෙයිනේ කළේ. ලැබෙන පොඩි පොඩි ඉඩම් කෑලි ඔක්කොගෙම වළවල් හාරල මළකඳන් දාල වහනව. එයා කවදහරි ප්‍රයෝජනවත් වේවි කියල හිතල ඒ මැරුණු වීරයන්ගෙ නම්, විස්තර, වළදාපු ස්ථාන වගේ හැම තොරතුරක්ම ලේඛන ගතකළා. අතට අහුවෙන කඩදාසි කෑලිවල ඒ තොරතුරු ලියල ඒ වළදාපු තැන්වලම තිව්ව. මම එයාව හමුවෙන්න ගිය හැමවෙලාවෙ ම වලවනුත් වඩාගෙන ගියේ. දරුව තනිකරල අඟලක්වත් පිට ගියේ නෑ. කොයි වෙලාවෙ ගියත් භූමිදානෙ කරන්න තියෙන මළකඳන් ගොඩක් පේළියට ගොඩගහල තියෙනව. ඒව ළඟ අයිතිකාරයො වැළපෙනව. අයිතිකාරයො කවුරුවත් නැති ශරීරත් තිබුණ. අඬන්නවත් කවුරුවත් නැති කාලයක් උදාවේවි කියල අපි හිතාගෙන හිටිය. අවසන් ගෞරව කටයුතු මිනිත්තු දෙකක් ඇතුළත අවසන් කරනව. ඊළඟට වළවල් වහල දානව. ඒව අවසන් කරනකොට ම ආයෙත් මළකඳන් ගොඩක් අරන් එනව. දවසක් උඹේ මස්සිනා කිව්ව ‘කඩදාසි කෑලිවල වීරත්වයට පත්වුණු කෙනෙක් කියල ලියනකොට මගේ අත වෙව්ලනව’ කියල….”

අක්කා කතාව නතර කළාය. නිදිමතින් ශරීරය සොලවන වලවන් දෙස හැරී බැලුවාය. එහි වූයේ ළෙන්ගතු බැල්මකි. මා ඇගේ මතකයන් අවුස්සමින් දුක වැඩිකරන්නේදැයි සිතුණි.

“….මෙයා ගැන හිතනකොට තමයි වාවගන්න බැරි. මට විතරක්නම් මොනව වුණාම මොකද? ලේයි මසුයි තමයි මට ජීවිතය වුණේ. දරුණු විදියට යුද්දෙ පැවතුණ දවස්වල අපේ වෛද්‍ය සෙබළු ලේවලින් නෑවිලා හිටියෙ. වේදනාව උහුලගන්න බැරි මර ළතෝනි, පිස්සුවෙන් වගේ කෑගහන හඬවල් මට හුරුපුරුදු වුණා. අත් දෙකයි කකුල් දෙකයි කැඩිල ගෙනාපු ගෑනු ළමයෙක් ‘අක්කේ මට සයනයිට් කරලක් දීපන් ඉක්මනට මැරිල යන්න ඕන’ කියල බැගෑපත් වෙනකොට හිත ගල් කරගෙන, ක්ලාන්ත ගතියෙන් ම තමයි තුවාල වෙච්ච තැන් කපල උණ්ඩ කෑලි අයින් කරල දැම්මෙ. වලවන්ට ඒ වගේ හිතේ හය්යක් නෑ. එයා දරුවෙක්. එයා වටේ අනන්තවත් මරණ සිද්දවුණා. විසිරිලා ගිය මොළ, බිඳුණු අත පය, බඩ පැලිල පිටට වැටුණු බඩවැල්, මස් ගොඩවල් වගේ තිබුණ ශරීර ඔක්කෝම එයා ඇස් දෙකෙන් දැක්ක. මුලදි මම එයාගෙ ඇස් වහගත්ත. ‘එපා වලවන්, ඔයා මේ හැම දෙයක් ම දකින්න හොඳ නෑ’ කියල වෙන කොහෙට හරි එක්ක යනව. මුලදි මමත් කී වතාවක් නම් ඇස් වහගත්තද? උමේ මස්සිනා හොයාගෙන ගිය හැම වතාවෙම මෙයා මගේ අතින් මිදිල ඒ භූමියෙ හැම තැනම දුව පැනල ඇවිදිනව. අවුරුදු හතරෙදි වෙච්ච හැම දේම කොහොම මතක තියාගෙන ඉන්නවද කියල මට නම් හිතාගන්න බෑ. ඒත් දොස්තර මහත්තය නම් ඒවට ප්‍රතිකාර තියෙනව කිව්ව….”

මම අවධානයෙන් ‘දොස්තර ළඟට ගියේ…?’ යි තරමක් පැකිලෙමින් ප්‍රශ්න කළෙමි. මගේ යටි සිත අවුල් සහගතව පැවතුණි.

“මෙයා වත්තෙ ඉන්න කුරුමිණියො, කටුස්සො, ගෙම්බො, පත්තෑයො එකෙක්වත් අතහරින්නෙ නෑ. මොළේ අවුල්වුණ කෙනෙක් වගේ උන්ගෙ පස්සන් ම ගිහින් ගල්කැට අරන් ගහනව. නැත්තම් පොල්ලකින් හරි ගහල මරල දානව. කටුස්සොන්ගෙ බිත්තරවලට කෝටුවකින් ඇනල බිඳල දානව. කුරුළු කූඩු කඩල දානව. ඒව නපුරු වැඩ බව තේරෙන්න නෑ. ගෙම්බෙක් මරල වළදාල දවස් 10ක් 15ක් ගියාට පස්සෙ හාරල ඇටකටු ගොඩ ගන්නව. කේන්තියට ගහන්නත් බයයි තවත් මුරණ්ඩු වේවි කියල. බලපන් එයාගෙ මුණ දිහා. විශ්වාස කරන්න පුළුවන්ද? කොහොම ගහන්නද….?”

අක්කාගේ කඳුළු වැඩිවන්නට විය. මම වලවන් අසලට ගොස් හිඳගත්තෙමි. ඔහුගේ කොන්ද පිරිමැද්දෙමි. ඔහුගේ මුහුණ මට සිහිපත් කළේ මීට පෙර මා පුවත්පත් හා අන්තර්ජාලයෙන් දුටු දරුවන්ය.

“තව ටික දවසකින් තාත්ත ගැන අහවි. දැනුත් කල්පනා කරන්න පුළුවන්.”

අක්කා පැවසුවාය. මස්සිනා පිළිබඳව මා තුළ එක්තරා එළඹුමක් තිබුණි. එහෙත් සෑම දවසක් පාසාම විශ්වාසය පොදි බැඳගෙන සිටින්නියක සමග මට මගේ වදන් පැවසීමට නොහැක. දෑසින් නොදුටු ‘සිහින මිනිසකු’ ලෙස මස්සිනා මගේ සිතෙහි කිඳා බැස සිටියේය. ඒ නිසාමදෝ ඔහු වෙනුවෙන් මසිතේ එතරම් ම තැවුලක් නොතිබුණි.

“මොනව වේවිද කියල මටත් අනුමාන කරන්න නම් පුළුවන්….”

එසේ පැවසූ අක්කා දිගටම කතා කරන්නට වූවාය.

“….එයාට ආපහු පණපිටින් නම් එන්න ලැබෙන්නෙ නෑ. ඉස්සෙල්ලම වලවන්ට කියන්න උත්තරයක් ඕන. ඊ ළඟට පුරුෂය ගැන උනන්දුවක් නැතුව ඉන්නව කියන මේ ගමේ මිනිස්සුන්ට කියන්න උත්තරයක් ඕන. ඒ වෙනුවෙන් තමයි මම මේ තරම් මහන්සි වෙන්නෙ, බැගෑපත් වෙන්නෙ, පෙළපාලි යන්නෙ, මේ හැමදේම කරන්නෙ. ඕනම තොරතුරක් භාරගන්න සූදානමින් තමයි මම ඉන්නෙ. එයත් හිටියෙ එහෙම සූදානමින් තමයි. අවසන් දවසෙ පාන්දර ම එයා මගේ ළඟට ආව. ‘අද අපි මැරුණම ඉතිහාසයෙ නොපෙනී ගිය අය බවට පත්වේවි. සමහර විට වැරදිලා ඉතිහාසය විසින්ම ඔසවල වීසිකෙරුණු අය බවට පත්වේ’ කියලත් එයා කිව්ව. ඉබාගාතෙ ඇදි ඇදී තමයි අපි මේ තරම් දුරක් ඇවිදගෙන ආවෙ. ටිකක් එළිය වැටුණට පස්සෙ පාර අයිනෙ ඇරල තිබුණ බංකරයක් ඇතුළෙ මළකඳන් 20 -30ක් ගොඩගහල තියෙනව මම දැක්ක. ඒ ඔක්කොම සංවිධානෙ සෙබළුන්ගෙ. දවස් දෙක තුනකට කලින් මැරිල තියෙන්න ඇති. ගඳ ගහනව. උඹේ මස්සිනාත් එතන බිම දනින් වැටුණ. මොළේ අවුල් වෙච්ච කෙනෙක් වගේ අත්වලින් බිම පස් හූරන්න ගත්ත. අත්ල දිගහැරල, ඒ පස් අහුරු අරගෙන දික්කරල ‘අය්යෝ….’ කියල හඬා වැටුණ. මම දන්නව. පපුවෙ මස් පිඬු ඉරිල තුවාල වෙච්ච වෙලාවෙවත් ඇඬුවෙ නැතුව හිටපු කෙනෙක් එයා. ඒත් ඒ මොහොතෙ ඉකි ගගහ ඇඬුව. මම එයාව අල්ලල ඇද්ද. මුල් ඇදිල වගේ හෙල්ලුනේවත් නෑ. නැමිල කනට ළන්වෙලා ‘වලවන් වෙනුවෙන්’ කියල කෙඳිරුව. එතකොට තමයි හෙමින් නැගිටල ඇවිදින මළකඳක් වගේ සක්මන් කළේ. හමුදාවෙ අය ලේසියෙන් ම එයා සංවිධානෙ කෙනෙක් බව හඳුනගත්ත. එයා වැඩිය තර්ක කරන්න ගියෙත් නෑ. මගේ ළඟට ඇවිත් රහසින් ‘ඔයා සංවිධානෙ බවක් කියන්න ඕන නෑ. කවුරුහරි පාවල දෙනකල් ඔයා කියන්න යන්න එපා. වලවන් වෙනුවෙන්….’ කියල ඇවිදගෙන ගියා. එයාල ඔක්කෝම එක බස්එකකට පැටෙව්ව. බස්එක පිටත්වෙන්න කලින් කිසිම හැඟීමක් නැතිව ඇතුළෙ ඉඳන් අත වැනුව. මම බස් එක යන දිහා බලන් හිටිය….”

මදුරුවන්ගේ නාදය ඇසුණි. ඉන් එකෙක් දෙන්නෙක් මට දෂ්ට කළහ. අක්කා නැගිට ගොස් පට සාරියක් ගෙනැවිත් වලවන්ට පෙරෙව්වාය.

“මදුරු දැලක් තියෙනව. මෙයා ඒක යට ඉන්නෙම නෑ. මටත් ඉන්න බෑ. කොහේහරි බංකරයක් ඇතුළට ගිහින් ඉන්නව වගේ තෙරපීමක් දැනෙනව. හුස්ම හිරවෙනව වගේ.”

“වලවන් මාත්තෙක්ක ඉඳපුදෙන්.”

මම පැවසුවෙමි.

“එයා අතින් පයින් අනීවි. පරිස්සමෙන්.”

එසේ පැවසූ අක්කා ‘එක්සත් ජාතීන්ගේ සංවිධානෙ මානව හිමිකම් නිලධාරියෙක් හෙට ටවුමට එනව; අභියාචනයක් ඉදිරිපත් කරන්න ඕන; මම උදෙන්ම පිටවෙලා යනව ඒකට; මෙයා පරිස්සමින් බලාගන්න’ යි ඉල්ලීමක් කළාය.

අක්කා අපි අවදිවීමටත් පෙර පිටව ගොස් සිටියාය. වලවන් දැන් බිම දණ නමාගෙන සිටියි. කොන්ක්‍රීට් ගල වැදි පොඩිවී තිබූ ගෙම්බා දෙස ඔහු උනන්දුවෙන් බලා සිටියේය. ළඟට ගොස් ඔහුව කැඳවාගෙන ඒමට සිතුවෙමි. එහෙත් චප්පවී තිබූ ගෙම්බා ගැන කල්පනා කරන විට බඩ පපුව දැවී යන්නාක් සේ දැනෙයි.

“වලවන්, ඔයා හොඳ දරුවෙක්නේ…. මෙහෙ එන්නකො.”

ඔහු මා දෙස හැරී බැලුවේවත් නැත. ඉනේ ලිස්සමින් තිබෙන කොට කලිසම ඇද අල්ලා ගනිමින් දිවගොස් ලොකු සූරිය කොළයක් කඩා රැගෙන ආවේය. ගෙඹි සිරුර කෝටුවකින් තල්ලුකර කොළය මතට ගත්තේය. යළිත් දිවගොස් වැට අයිනේ වීසිකර දමා තිබූ පැරණි පොල්කටුවක්  ගෙනැවිත් ඉන් පස් ඉවත්කරමින් වළක් හාරන්නට විය. ගෙඹි සිරුර සූරියා කොළය සමගම ඒ කුඩා වළ තුළට දැමූ ඔහු කම්මුලට අතක් තබා ඒ දෙස ම බලා සිටියේය. මා සිත කැලඹී ගියේය. වලවන්ගේ දෑස්වලින් කඳුළු බිඳු දෙකක් පස මතට වැටෙනයුරු මම දුටිමි. මගේ සියලග ම වෙව්ලන්නට විය. වහා දිවගොස් ඔහුව අල්ලා ඔසවාගෙන පපුවට තබාගත්තෙමි. ‘වලවන් නිර්භීත දරුවෙක්නේ; අපි වැල්ලෙ සෙල්ලම් ගෙයක් හදල සෙල්ලම් කරමුකො’ යි ඔහුගේ නළල පිරිමදිමින් පැවසුවෙමි. ඒ සමගම කකුලකින් පස් දමා එම වළ වසා දැමුවෙමි. එහෙත් ඒ ගෙඹි සිරුර දෙස බැලීමෙන් වැලකී සිටියෙමි.

වලවන් මගේ ග්‍රහණයෙන් මිදෙන්නට දැඟලුවේය. කකුල්වලින් ඇන්නේය. මගේ පපුවට අත තබා තල්ලු කළේය. ‘මම බිමින් තියන්න; මට එයා වීරත්වයට පත් කරල අවසන් ගෞරව දක්වන්න ඕන. බිමින් තියන්න’ යි කියමින් අඬන්නට පටන් ගත්තේය. ඔහුගේ ඇඬුම් හඬ මගේ හඬ පරයමින් ඒ භූමිය පුරා පැතිර යන්නට විය.””     

පින්තාරු කිරීම – Yulanie Jayasena